ගෙල සරසා සිප්පි මුතු කත සරසන කබාකුරුත්තු
දහසය වන සියවස සිට වසර එකසිය පනහක් පමණ කාලයෙහි පහතරට පාලකයන්ව සිටි පෘතුගීසීන්ගේ ආභාෂයන් මෙරට ජන සංස්කෘතීන් කෙරෙහි ඇති කළ බලපෑම සුළුපටු නොවේ. බීරළු රේන්ද ගෙතීමේ කලාව මෙරට කර්මාන්තයක් ලෙස ස්ථාපිත වූයේ ද පෘතුගීසි සමයේදී ය. දකුණුදිග වෙරළාසන්න ප‍්‍රදේශයන්හි මත්ස්‍ය කර්මාන්තයෙහි නිරත වූ කරාව කුලයේ පවුල්වල කාන්තාවන් අතර සිත්ගත් ඇඳුමක් විය. එය බීරළු රේන්දයේත් කපු රෙද්දේත් ලලනා සුසංයෝගයක් වූ දුටුවන් මන බඳනා කබාකුරුත්තුවයි. කබාකුරුත්තුව යනු ගී‍්‍රවය කොටසේ සහ දෙඅත්හි මනාව රේන්ද ඇල්ලූ කෙටි එහෙත් අත් දිග කපු හැට්ටයකි. ඇඳුමේ පිටුපස සහ ඉදිරිපස එකම රෙද්දකින් කපා නිම වූ මෙම හැට්ටය ඉදිරිපසින් එක්කොට අල්පෙනෙතිවලින් තද කෙරිණි. ස්තී‍්‍රන් කබාකුරුත්තු හැට්ටය සමඟ එයටම ගැලපෙන තද පැහැති රෙද්දක් හෝ මුද්‍රිත චීත්ත රෙද්දක් ඇඳ උත්සව අවස්ථාවලට සහභාගී වූහ.

රාජකීය උරුමයක සළුපිළි අරුමය
දහඅටවන සියවස මුල් භාගයෙහි නායක්කාර් රාජවංශ සමයේ දී ඉන්දීය අභාසයක් සහිතව අප රටට අනන්‍ය වූ ලක්ෂණ සමඟින් උඩරට මුල් ඇඳුම හෙවත් තුප්පොට්ටිය, උඩරට ප‍්‍රභූන්ට අවේනික ඇඳුමක් ලෙස භාවිතයට ගෙන ඇති බව සඳහන් වේ. මුල් කාලීනව රාජකීය නිල ඇඳුමක් සහ වස්ත‍්‍රයක් වූ මෙයින් සැරසුනේ රජවරුන් සහ රජ ගෙදර ඉහළ නිල තල දැරුවෝ පමණි. ශී‍්‍ර වික‍්‍රම රාජසිංහ රජුගේ නිල ඇඳුම වූ මෙය ක‍්‍රමානුකූලව යම් යම් වෙනස්කම්වලට භාජනය වී අදිකාරම්වරු, දිසාවේවරු, මොහොට්ටාලවරු සහ නිළමේවරුන්ගේ රාජකාරී නිල ඇඳුම බවට පත්විය. වටිනා පිළියෙන් සැකසෙන මුල් ඇඳුම කොටස් දාහතරකින් සමන්විතය. කළිසම මතින් එතෙන බඳපටිය සහිතව යාර දොළොසක කරම් වූ දිගින් යුත් තුප්පොට්ටිය, සෝමනය, රන් බොත්තම් කළා වූ පච්ච හැට්ටය ද පේරැුස් මුද්ද, විසිතුරු කැටයමින් යුත් වළලූ, රන්මාල ආදී ආභරණවලින් ද මල්ගහ සහිතව විසිතුරු ගෙත්තමින් සැරසූ රාජකීය වරප‍්‍රසාදයක් වන සතරමුලූ තොප්පියෙන් ද බඳපටියට ඉහළින් ඉණෙහි ලූ පදක්කම් පිහිය සහ ලේන්සුවකින් මුල් ඇඳුම පරිපූර්ණ වේ.

පැළඳ කඩු කස්තාන...
දහ නමවන සියවස මුල් අවධියේදී මෙරට පාලකයන් වූ විදේශිකයන් අතින් නිල තල ලබා ගත්තෝ පහතරට වංශවතුන් වූහ. මෙම ප‍්‍රධානීන්ගේ ඇඳුම්වල ස්වරූපයන් ලක්දිව උඩරට රාජධානියේ රජවරුන් හා ප‍්‍රභූන් විසින් භාවිතා කළ ඇඳුම්වල ස්වරූපයන්ගෙන් වෙනස් වූයේ පෘතුගීසි යුගයේ බලපෑම නිසාවෙනි. මෙම ප‍්‍රධානීන් ඔවුනගේ නිල තල අනුව තම නිල ඇඳුම්වල ස්වරූපයන් සකසා ගත්හ. මෙරට වැඩවසම් යුගයේදී ඉන්දීය කුල ක‍්‍රමයට අනුව රණශූරයන් පැවත එනවා යැයි කියන ක්ෂත‍්‍රීය කුලයේ අයට පමණක් මුදලි කෙනෙක් වීමේ වරම හිමි විය. 18 වන සියවසේ දී ලන්දේසි පාලකයින් විසින් වෙල්ලාල කුලයේ සංක‍්‍රමණික දමිළයන් කිහිප දෙනෙක් මුදලි තනතුරට පත් කරන ලදී’. ලන්දේසීන් පරදා මෙරට පාලකයින් වූ බි‍්‍රතාන්‍යයින් 19 වන සියවසේ දී ස්වදේශිකයන්ද ඇතුළුව විවිධ කුලයන්ට අයත් වූ මුදලිවරුන් විශාල ප‍්‍රමාණයක් නිලයන්හි පිහිටුවනු ලැබිය. පසුකාලීනව මෙම නිලතල දැරූවෝ ගොවිගම කුලයේ අය ලෙස ඔවුන්ව හඳුන්වා ගත් අතර හාමු නමැති ආමන්ත‍්‍රණය පට බැඳුනේ ඔවුන්ටය. වලව්ව නම් නිවෙස් තිබුණේ ඔවුන්ටය. මුදලිවරුන්ගේ ඇඳුම වී තිබුණේ රත‍්‍රන් බොත්තම් සහ කාදු ඇල්ලූ කළු පැහැති අත් දිග ලෝගුවකි. හිසෙහි සේද පිළියෙන් තැනූ රවුම් තොප්පියකි. එ් වටා රනින් කළ නූල් විය. රිදී වැඩ දැමූ උරහිස හරහා වැටුණු පටියක එල්ලෙන අලංකාර කඩුවද මෙම ඇඳුමේ ප‍්‍රධාන අංගයකි. එය කස්තාන කඩුව නම් විය. මුදලිවරුන්ට වඩා තරමක පහළ නිල තල දැරූ මුහන්දිරම් ඇඳුම මෙයින් වෙනස් වූයේ සුළු වශයෙනි. රත‍්‍රන් බොත්තම් සහ කාදු ඇල්ලූ කබායද අලංකාර රටාවන් ඇඳි බෝඩරයක් සහිත සරමද කස්තාන කඩුව පැළඳීම සඳහා වූ උරහිස හරහා දමන රන් පැහැති පටිය ද එහි අඩංගු විය. මුහන්දිරම්වරු හිස් වැසුම් පැළඳු බවක් ඉතිහාසයෙහි නොකියවෙන අතර එ් සඳහා නොයෙක් මාදිලියෙන් තනන ලද නැමි පනා පැළඳ ඇත. එ් අතරම අතෙහි රැුඳි බස්තමද ඔවුන්ගේ නිල තල පිළිබඳ ඉඟියක් සපයයි.

නර්තන හැඩකාරකම් - වස්ත‍්‍ර අලංකාරකම්
වෙස් නැටුමේ ආරම්භය පඬුවස්දෙව් රජ සමයට තරම් පැරණි බව කියවේ. මලය රජු විසින් පඬුවස්දෙව් රජු අරබයා කළ කොහොඹ කංකාරිය නම් ශාන්ති කර්මයේ ආරම්භයත් සමග මහත් ගරුසරු ඇති පූජනීය ඇඳුමක් ලෙස වෙස් ඇඳුම බිහිවී ඇත. මලය රජුගේ ඇඳුම ආශ‍්‍රයෙන් වෙස් ඇඳුම නිර්මාණය වී ඇති බව ජනප‍්‍රවාදයෙහි සඳහන් වන අතර මෙම ඇඳුමට සූසැට ආභරණ ද ඇතුළත් වූවත් එසේ සූසැට ආභරණ පැළඳීම වස් වැදීමකට හේතුවේ යැයි සිතා උඩරට නර්තනයේ දී අඳිනු ලබන්නේ ඉන් සමහරකි. වෙස් ඇඳුම සඳහා භාවිතා කරන ශීර්ෂ ආභරණ අතර මුලින්ම දක්නට ලැබෙන්නේ ජටාවයි. සුදු පිළියෙන් ජටාව බැඳ ලී පතුරු උපයෝගී කරගනිමින් අර්ධ ස්ථූපයක හැඩයට ගැට ගසා ගන්නා ලද කේතුවක් ඉදිරියෙන් රිදී තහඩුවක් තුළ ගිනි දළු හැඩයෙන් යුත් පායිම්පත වේ. ජටාව මුදුනේ සිට පසුුපසට එල්ලා වැටෙන අඟල් හතලිස් පහක් පමණ වන රෙදි පටිය ජටා පටිය නම් වේ. අර්ධ කවාකාර හැඩයෙන් යුතු වෙස් තට්ටුව ලීයෙන් තනා රිදී රන් හා මැණික් යොදා තහඩුවෙන් වසා ඇත. මෙහි අගට සම්බන්ධ කොටස්වලට බෝපත් සවිකොට තිබේ. වෙස් තට්ටුව යටින් මැණික් ගල් එල්ලනු ලැබූ නෙත් හිමාලය වේ. කන් පෙති වැසීමට තෝඩු පත් ද කනේ පැළඳීමට පබළු වැඩ දැමූ මාලයක් ද පපු පෙදෙස ආවරණය වන කිරි පබලූ, ඇත් දළ කොටස්, මී අං, කබල්ලෑ පොතු, රිදී, පිත්තල බෝත්තම් සහිත අපුල්ගාරයද වෙස් ඇඳුමේ ඉහළ කොටසෙහි ඇත. පායිම්පත, අවුල්හැරය, වෙස් තට්ටුව සහ රෙද්දේ රැුළි ආදියෙන් සූර්යයා සංකේතවත් වේ යයි අදහස් කරයි. තවද උරහිස් සඳහා දෙවුර මාල ද අත් පළඳනා ලෙසින් ලෝහයෙන් කළ බණ්ඩි වළලූ 16ක් පමණ ද වේ. මැණික් කටුවට හස්තකඩද පිටි අල්ලට කයිමත්තු ද ශරිරයේ පහළ කොටසට රියන් අටක් දිග රැුලි තබා අඳින උල් උඩය නම්වූ සුදු රෙද්දක් ද වේ. තවද රියන් විස්සක් දිග හඟල නමැති සුදු රෙද්දත් එහි දෙකෙළවරෙන් වූ දෙවුල්ලක් වේ. රියන් අටක් දිග රතු ඉන පටිය කෙළවර තබනු ලැබූ නෙරිය පොත්පොට නම් වේ. ඉනෙන් පහළට තරුවක් මෙන් එල්ලා වැටෙන පළඳනාව බුබුළු පටිය නම් වන අතර එය රිදී පැහැති රවුම් කිහිපයක් සහිතව රෙදි අග විල්ලූද බෝල සහිතවද ඇඳ ඉණ පටිය පළඳිනු ලැබේ.

හැළි සළු පිළි රැළි තියලා ඇන්ද ලියේ
ලංකාව ජනාවාස වීමේ සිට එහි සමාජ සංස්කෘතික හැඩතලය හැසිරවීමේ ප‍්‍රධාන බලපෑම ඉන්දියානු මහ සංස්කෘතිය තුළින් සිදුවිය. ලාංකේය කුල ධූරාවලියේ තරමක පහත් කුලයක් ලෙස සැළකූ රොඞී කුලයේ කාන්තාවන්ට උඩු කය ආවරණය කර වස්ත‍්‍ර ඇඳීම තහනම් විය. එපමණකුදු නොව නව වැනි සියවස පමණ වනතුරුත් සිංහල කුලීන ස්තී‍්‍රහූ පවා උඩුකය නොවැසූහ යි නිශ්චය කළ හැකි සාක්ෂ්‍ය ඇත. රොඞී ස්තී‍්‍රහු උඩුකය නිරුවත්ව ඉනෙහි සිට දණහිස හෝ වළලූකර තෙක් දික් වූ කපා නොමැසූ රෙදි කඩක් යටිකය වැසෙන සේ ඇඟ දවටා නෙරිය තබා ගැට ගසා ඇඳීමට පුරුදු වී සිටියහ. උඩරට රාජධානිය සමයේදී පවා සමාජ තහංචි කිහිපයකින්ම බැට කෑ රොඞී ජන කණ්ඩායම් පසුකාලීනව ක‍්‍රම ක‍්‍රමයෙන් ප‍්‍රධාන ධාරාවේ ජන සමාජය හා සම්මිශ‍්‍රණය වීම සිදු වූයේ නූතන සමාජ සංස්කෘතික බලපෑම් නිසාවෙනි. ඒ අයුරින් 19 වන සියවසේ අග භාගය පමණ වන විට උඩු කය වැසෙන පරිදි ඇඳුම් ඇඳීමේ වරප‍්‍රසාදය ඔවුනට හිමිවූ අතර රොඞී කාන්තාවෝ කපා නොමැසූ සළුවක් ඉණ වටා බැඳීමෙන් යටි කය වසා දිගින් වැඩි රෙද්දක් ගෙල පසුපසින් ඉදිරියට ගෙන හරස් කොට පපු පෙදෙස වසා රෙද්දෙහි දෙකොණ පිටුපසට කොට බැන්ඳාහ නැතිනම් ඉදිරිපසින් ඉණෙහි සැඟවූහ. මෙම ඇඳුම සඳහා කපු පිළියෙන් තැනූ අමු රෙදි භාවිතා වූ අතර කල් යත්ම චීත්ත රෙද්දත් පසුව උඩුකයට හැට්ටයත් ඇඳීමට ඔවුන් යොමුවූවා යැයි සිතිය හැක.
නාරි දේහ වසා සාරි මවන රටා
සාරි යන වචනය නිරුක්ති ගැන්වී ඇත්තේ ඉන්දු-ආර්ය භාෂාවක් වන ප‍්‍රාකෘත භාෂාවෙහි ”සාටික” යන වචනයෙන් බව පුරාණ ජෛන හා බෞද්ධ සාහිත්‍යයෙහි සඳහන් වේ. ඒ අනුව ”සාටික” ”සාටි” වී ”සාරි” වූවා යැයි අපට සිතිය හැකිය. ඉතිහාසයෙහි සාරිය පිළිබඳ මුල්ම සාක්ෂියක් හමුවන්නේ කි‍්‍රස්තු පූර්ව 2800 ත් 1800 ත් තරම් ඈතෙහි වූ ඉන්දු නිම්න ශිෂ්ඨාචාරය තුළයි. කපා නොමැසූ දිගැති වස්ත‍්‍රයක් වූ සාරිය පරිමාණයෙන් මීටර් හයක් හතක් පමණ වේ. විවිධ විලාසිතාවෙනුත් නොයෙක් ආකාරයෙනුත් ස්ත‍්‍රී ශරීරය වටා ගෙතී හැඩවුණු සම්ප‍්‍රදායික ඉන්දීය සාරිය ඒ ඒ කලාපයන්ට හිමි අනන්‍යතාවයන් බිහි කළාය. යටි කය වසා අඳින දිග සායක් උඩුකයට තද වන සේ අඳින හැට්ටයත් මතින් ඉණෙහි සිට පහළට දෙපතුල තෙක් ශරීරයෙහි එතී, ඉදිරියෙන් රැුළි තබා පපු පෙදෙස හරහා හැට්ටය මතින් ගොස් උරහිසෙහි එල්ලා වැටෙන ලෙස සාරිය අඳිනු ලැබේ. බොහෝ විට එම්බ්‍රොයිඩර් හෝ මුද්‍රිත මෝස්තරවලින් සාරිය හැඩ ගන්වන අතර උරහිසෙහි පහළට වැටෙන සාරියේ අග කෙලවරත් අනෙක් පස පහළ කෙලවරත් විචිත‍්‍රවත් ලෙස මෝස්තරවලින් අලංකාර කරනු ලබයි. සමස්ථ දකුණු ආසියානු කලාපයටම පොදු ඇඳුමක් වූ සාරිය ඒ ඒ කලාපවල ඒ ඒ ජන වර්ගවලට අනන්‍ය හැඩහුරුකම් මැව්වේය. දකුණු ඉන්දීය ආභාෂයෙන් අපට අනන්‍ය වූ හැඩහුරුකමක් ඇතිව සාරිය ඇඳීමට ලාංකීය ද්‍රවිඩ ස්ති‍්‍රය හුරු වූ අතර උරහිස මතින් පහළට වැටෙන සාරියෙහි අග පොට බඳ වටා එතීමෙන් යාපනේ සාරිය ලෙසින් සාරියට නව හැඩහුරුකමක් දීමට ඔවුන්ට හැකිවිය.

යුග ගණනක් පැරණි වේට්ටිය ඇඳි පිරිමි
කි‍්‍රස්තු පූර්ව 2 වන සියවසේ සිට 3 වන සියවස දක්වා කාලයේ දකුණු ඉන්දීය සාලවාහන රාජවංශ සමයේදී කරන ලද අමරාවතියේ ගල් රූපවල වර්තමාන සාරියට සමාන ඇඳුමක් විය. දෝතිය යනුවෙන් ඉන්දීයයන් හඳුන්වන මෙම ඇඳුම සියවස් ගණනාවක් තිස්සේ ඉන්දියාව ප‍්‍රමුඛ කොටගත් ආසන්න කලාපීය රටවල ප‍්‍රධාන වස්ත‍්‍රයක් ලෙස ඇඳ ඇත. අප ද්‍රවිඩ ජනතාව වේට්ටිය යනුවෙන් හඳුන්වන මෙම ඇඳුම ආයත චතුරශ‍්‍ර නොමැසූ රෙද්දක් ඉණ වටා ඔතා දෙපා කලවායෙහි ද එතෙන ලෙස ඉණෙහි බැඳීමෙන් අඳින අතර මෙම ඇඳුම ඇඳීමට නොයෙකුත් ආකාර කිහිපයක්ම ඇති බව ද සඳහන් වෙනවා.

ඉරි කොටු කම්බා නරු පට ඇන්දා
අතීතයේදී සාමාන්‍ය කාන්තාවගේ ඇඳුම වී ඇත්තේ යටිකය වැසූ රෙදිකඩක් පමණි. උඩුකයට ඇඳි සළුවක් පිළිබඳව සාක්ෂියක් හමුවන්නේ සීගිරි බිතු සිතුවමෙහි නිරූපිත කාන්තාවන්ගෙනි. එහි නායිකාවෝ උඩුකය නොවසා සිටිති. සේවිකාවෝ වැළමිට ඉහළින් පිහිටි අත් සහිත, ගෙලට හිර වූ, පසුපසින් පළා ඇතැයි සිතිය හැකි හැට්ටයක් හැඳ සම්පූර්ණ උඩුකය වසාගෙන සිටිති. ඇතැම් විට ඒ මතින් තනපට ද බැඳ සිටිති. මේ ලෙසින් උඩුකය වැසීම නොයෙක් ඇඳුමින් සිදුවූවත් කුල සාධකය හෝ සමාජ තත්ත්වයන් එහිලා ප‍්‍රධාන බලපෑමක් කළේය. පෘතුගීසි කාන්තාවන් ඇඳි ජැකෙට්ටුව අප කාන්තාවන්ගේ හැට්ටය කෙරෙහි බලපෑවා විය යුතුය. සාමාන්‍ය කාන්තාව යටිකයට නිරතුරු ඇඳි රෙද්ද පාදය නම් විය. එය දිගින් හත් රියනක් පමණ වේ. රෙද්දෙහි පළල රෙද්ද හිමියාගේ කුලය අනුව වෙනස් වූ අතර කුලහීනයන්ට ඇඳීමට අවසර තිබුණේ පටු රෙදි කඩකි. අත් දිග හැට්ටයත් ඉණ වට තබන ලද නෙරියපටක් සහිත බොලට දක්වා වූ රෙද්දත් ඇඳ ”රෙද්ද හැට්ටේ” ඇඳීමට යමක් කමක් ඇති පවුල්වල කාන්තාවන් ක‍්‍රමයෙන් යොමුවිය. අම්මලා දුවලා කවුරුත් නෙරිය තබා හැඩකාරකමට රෙද්ද ඇඳි අතර ඉඟ නළවන ගමනේ අන්දම් වැටුණේ ද ඒ නිසාමය. ”අතට වෙරළු කඩා ගෙනේ... ඉණට පලා නෙළා ගෙනේ...” කවෙන් කියවුණේ ද ඔවුන් ඇඳි රෙද්දේ පදාස ඔඩොක්කුවක් තිබූ බවයි.

සළුපිළි රැළි පෙරළි පෙරළි
1638 වසරේ දී පෘතුගීසි බලකොටුවක් යටත්කර ගැනීමෙන් ශ්‍රී ලංකාවේ ලන්දේසි ආක‍්‍රමණය සිදු විය. එතැන් සිට වසර 150 ක් පමණ ලන්දේසීහු මෙරට රැුඳී සිටියහ. පෘතුගීසීන් පමණක් නොව ලන්දේසීහු ද ශ්‍රී ලාංකික සිංහල දමිළ ජනයා සමග මිශ‍්‍ර විවාහ සිදුකර ගත්හ. ශ්‍රී ලාංකික බර්ගර් ජනයා පැවතෙන්නේ ඔවුන්ගෙනි. එකළ ඉහළ පාංතික ලන්දේසි බර්ගර්වරුන්ගේ ඇඳුම් පැළඳුම්වල හැඩහුරුකම් නිර්මාණය වූයේ ද සමකාලීන යුරෝපීය ඇඳුම් විලාසිතාවන්ගේ ආභාෂයෙනි. පෘතුගීසින් මෙරටට හඳුන්වා දුන් බීරළු රේන්ද කලාව ලන්දේසින් විසින් කර්මාන්තයක් ලෙස දියුණු කොට පවත්වාගෙන ගිය අතර ලන්දේසි වස්ත‍්‍රාභරණ පෘතුගීසි වස්ත‍්‍රාභරණ වලින් වෙනස් වූයේ එ්වායෙහි තිබූ විසිතුරු බව නිසාවෙනි. යටත්විජිත සමයේ අප රට විදේශීය පාලකයින් තම මව් රටවල් සමඟ සම්බන්ධතා පැවැත්වූ හෙයින් සමකාලීන යුරෝපීය ඇඳුම් විලාසිතාවන්ගේ ප‍්‍රවණතාවන් මෙරට උසස් පාංතික ඇඳුම් විලාසිතාවන් කෙරෙහි බලපෑවේය. තට්ටු සෑදු යුරෝපීය දිග ගවුමත් ස්වදේශික රේන්ද කලාවත් මිශ‍්‍ර වූ විලාසිතා ද එකළ මෙම කාන්තා ඇඳුම් තුළ දක්නට ලැබිණ. ඉහළට පීරා බැඳි කොණ්ඩ මෝස්තර හෝ හිස් වැසුමෙන් ද නිරතුරු අත රැුඳි රේන්ද වැඩ දැමූ ජත‍්‍රය හෙවත් උසස් කාන්තාවන් පරිහරණය කළ කුඩා කුඩයෙන් ද රත‍්‍රං හෝ මුතු ආභරණවලින් ද දිස්වූයේ මෙම කාන්තාවන්ගේ වංශවත් බවයි. මුළුමනින්ම පාහේ යුරෝපීය ඇඳුමක් වූ මෙය ස්වදේශික ජනයා අතර ප‍්‍රචලිත නොවූවත් මෙම ඇඳුම්හි බලපෑම පසුකාලීනව මෙරට කාන්තා ඇඳුම් විලාසිතාවන් කෙරෙහි බලපා ඇති බව අපට පෙනෙන පැහැදිලි කාරණයකි. මෙම යුගයේ දී ස්වදේශික ඉහළ පෙළේ කතුන්ගේ ප‍්‍රධාන ඇඳුම් වූයේ ගවුම්සාය නම් වූ ඉණෙහි සිට දෙපතුල තෙක් දික් වූ රැුළි සාය, බොස්තරැුක්ක හැට්ට නම් වූ අත් දිග හැට්ට වැනි දෑය.

මාල හතයි ආල හිතෙයි
පියොරු වසා දෙවුර හරහා සාඨකයක් ලෙස උඩුකය වැසෙන වස්ත‍්‍රයක් ඇඳීමට 14 වන 15 වන සියවස් වන විට කාන්තාවෝ පුරුදු වූහ. 17 වන සියවස් මධ්‍යයෙහි උඩරට නායක්කාර් රාජවංශ සමයේ දී කුලීන කාන්තාවන් ලියවැල් වැඩ දැමූ නන් පැහැ මෝස්තර රැුඳි හැට්ට භාවිතයට යොමු විය. මෙම හැට්ටයේ අත් දික් වූ අතර බෝරිච්චි කර තිබිණ. පසු කාලයේ දී උඩරට කාන්තාවෝ යටිකයට ඇඳි නෙරිය තැබූ රෙද්ද ලැම හරහා එක් උරකට ගෙන රෙදි පොටක් සහිතව් ඇඳි ඇඳුම ඔහොරිය නම් විය. දකුණු ඉන්දීය අභාෂය මෙහි ඇති බව පැහැදිලිවම පෙනෙන්නේ ද්‍රවිඩ කාන්තාවන් ඇඳි ඉන්දීය සාරිය නිසයි. කෙසේ වෙතත් උඩරට ඔසරිය නම් වූයේ අපටම සුවිශේෂි අනන්‍යතාවයකින් යුතුව නිර්මාණය වූ පූර්ව යටත් විජිත ස්තී‍්‍ර ආයිත්තමකි. ශ්‍රී ලංකාවේ කන්ද උඩරට ප‍්‍රදේශය අතීතයේ දී නොදියුණුව පැවති අතර එදවස ”මලය රට” යනුවෙන් හැඳින්වූ මෙම ප‍්‍රදේශය 14 වන සියවසේ දී ගම්පොළ රාජධානිය බිහි වූවායින් පසු 15 වන සියවස වන විට සෙංකඩගල හෙවත් මහනුවර කේන්ද්‍රකොට ගෙන ”උඩරට රාජධානිය” නමින් ස්ථාපිත විය. කුල වලින් ඉහළම කුලයේ ඉහළම ශ්‍රේණියට හිමිකම් කී රදළ ප‍්‍රභූවරයින් උඩරට රාජ්‍යයේ තීරණාත්මක සමාජ කොටසක් විය. ඔවුහූ සාමාජයීය වශයෙන් අන්‍යයන් අභිබවාලූ උසස්භාවයක් හිමි ඇත්තන් වූහ. මෙම ප‍්‍රභූ පැළැන්තිය දේශපාලනිකව පමණක් නොව ආර්ථික වශයෙන් ද වරප‍්‍රසාද ලත් පිරිසක් වූ අතර කුල සම්ප‍්‍රදායේ රීති අනුව සිය කුලය තුළම අන්තර්ජන්‍ය විවාහ වලට එළඹුනහ. අදිකාරම්වරු, දිසාවේවරු, රටේ මහත්වරු ආදී පාලන තන්ත‍්‍රයේ ඉහළ නිල තල දැරූ අය ද ආගමික සංවිධානයේ ගිහි නිලතල දැරූ නිලමේවරු ද තෝරාගන්නා ලද්දේ මෙම රදළ ප‍්‍රභූ පවුල්වලිනි. මෙම නිලතල දැරූවන්ගේ බිරින්දෑවරු වූයේ ද එවැනිම ප‍්‍රභූ පැළැන්තිවල කාන්තාවෝය. උඩරට කුමාරිහාමිලා වූයේ ඔවුන්ය. උඩරට රදළ පවුල්වල වංශවත් කාන්තාවෝ පමණක් ඔසරිය ඇන්දාහ. පසුව ආර්ය සිංහල ඇඳුම ලෙස හැඳින්වූ උඩරට ඔසරිය එක් පසෙකින් නෙරිය තබා ඔපනැලි මතුකර ඔඩොක්කුව සාදා ඉණ වටා එතුණු දිග රෙද්දකින් ද බෝරිච්චි දැමූ අත්ගෙඩි හැට්ටය නම් හැට්ටයකින්ද නිමවේ. ඔසරියෙන් හැඩවෙන උඩරට ප‍්‍රභූ කතුන් හත්මාලා, කොණ්ඩා කූර, හවඩි, පා ගිගිරි, වළළු මුදු පළඳා ආයිත්තම් වූහ. ඔවුන්් සාමාන්‍ය ලෙස ගෙදර දොරේ සිටියේ ද මේ අයුරින්ම උල් ඔසරිය හෝ දිග ඔසරිය ඇඳ ගෙඩි හැට්ට ඇඳුමින්ය. එවිට ද දෑතට වළළු දමා කනේ කඩුක්කන් හෝ තෝඩු පළඳා බෙල්ලේ දෑතින් අල්ලන තරමේ ලොකුවට සිරියා කොණ්ඬේ බැඳ ගෙනය.

රෙදි කළිසම් මාත්තුවයි - සූට් බූට් ජේත්තුවයි
ලංකාව පාලනය කළ යුරෝපීයයන් අතරින් බි‍්‍රතාන්‍යයන් සුවිශේෂී වන්නේ 1815 වන විට මුළු දිවයිනේම පාලනය සියතට ගැනීමට ඔවුන් සමත්වීම නිසාවෙනි. බි‍්‍රතාන්‍යයින් දීර්ඝ කාලයක් මෙරට පාලනය කිරීමත්, මෙරට අවසන් යටත් විජිත පාලකයින් වීමත් හේතුකොටගෙන ශී‍්‍ර ලාංකිකයන්ගේ ඇඳුමේ යුරෝපීය මුහුණත නිර්මාණය වූවේය. යුරෝපීය ඇඳුම් විලාසිතා සංස්තෘතීන්ගේ යෝධ පිම්මක් වූ වික්ටෝරියානු යුගයේ බලපෑම බි‍්‍රතාන්‍යයින් හරහා අප රටට ද මුසු විය. එදවස සිට වර්තමානය වනතුරුත් පවතින්නේ ඔවුන්ගේ ඇඳුම් පැළඳුම් සංස්කෘතීන්ගෙන් අප ලද අභාසයයි. ඉංගී‍්‍රසින්ගේ අභාෂය ලද ඇඳුම් පැළඳුම් අතර සාමාන්‍ය ඇඳුම් පැළඳුම්වලට වඩා ව්‍යාපාරික ඇඳුම් පැළඳුම්වලට මුල් තැනක් හිමිවන්නේ මෙරට අධ්‍යාපන ආයතන පමණක් නොව පරිපාලන හා ව්‍යාපාරික ආයතන පවා බි‍්‍රතාන්‍යයින් අතින් පාලනය වීමයි. බි‍්‍රතාන්‍ය යුගයේ අග භාගය තුළ මෙරට පුරුෂ පක්ෂයේ ඇඳුම් අතර ඉංගී‍්‍රසි මුළු ඇඳුම හෙවත් බටහිර මුළු ඇඳුම ප‍්‍රචලිත විය. එය අප රට වැසියන්ට ”කළිසම් කෝට්” විය. එකළ ඉහළ පාන්තික නගරවාසී පිරිමින් එළිමහනට පැමිණියේ ගමන් බිමන් ගියේ උජාරුවට හැඳ පැළඳ ගත් බටහිර මුළු ඇඳුමෙනි. මෙය කළිසමක් සහ නැවූ කොලරය සහිත සුදු පැහැති කමිසය මතින් ඇඳි යට කබායකින් ද එම රෙද්දෙන්ම නිම වූ උඩු කබායකින් ද මූලිකව පරිපූර්ණ වන ඇඳුම් කට්ටලයකි. අලංකාර ටයි පටිය හෝ පළලැති බෝ පටියක් ද වටකුරු හෝ පැතලි තොප්පිය ද බටහිර මුළු ඇඳුමේ ප‍්‍රධාන අංග විය. වටකුරු තොප්පිය බොහෝ විට පැළඳියේ ව්‍යාපාරික ඇඳුමක් ලෙසින්් වන අතර උස් පැතලි තොප්පිය සාමාන්‍ය අවස්ථාවල දී පැළඳ ඇත. වසර 1800 අග භාගයේදී තද වර්ණයන්ගෙන් නිම වූ මෙම ඇඳුම කල්යත්ම විවිධ රටාවන් වර්ණ රුඳි ඝණ රෙද්දෙන් නිමවිය. ඉදිරියෙන් උල් වූ කළු පැහැති සපත්තු ද මෙකල පිරිමි විලාසිතා අතර මුල්තැනක් ගත්තේය.

අඳිති කබා රුසිනා තොප්පි දමති උසිනා
ශ්‍රී ලංකාව, අප‍්‍රිකාව ඉන්දියාව හා චීනය අතරමැදින් පිහිටීම හේතුවෙන් එදවස පටන්ම එය වාණිජ කටයුතු පිළිබඳ මධ්‍යස්ථානයක් විය. කුළුබඩු හා මැණික්වලට හිමි ජාත්‍යන්තර ප‍්‍රසිද්ධිය නිසා පෙරඅපර දෙදිගින්ම අප රට කරා වෙළෙන්දෝ පැමිණියහ. ශ්‍රී ලංකාව හා අරාබිය අතර පැවති වෙළෙඳ සබඳතා මෙරට තුළ මුස්ලිම් ජනාවාස ඇරඹීමට හේතු සාධක වූයේය. 8 වන සියවසත් 15 වන සියවසත් අතර කාලයේදී අරාබි වෙළෙඳුන් නැත්නම් මූර් මුස්ලිම්වරු මෙරටට පැමිණි බව ඉතිහාසයෙහි සඳහන් වෙයි. මැණික් වෙළඳාමෙහි රුසියන් වූ මුස්ලිම්වරු මධ්‍යම කඳුකරයෙහි, මහනුවර සහ ආසන්න කලාපයන්හි පූර්ව බි‍්‍රතාන්‍ය යුගයේදී පවා ඔවුන්ගේ වෙළඳාම් කටයුතු කළහ. මහත් කැපවීමෙන් තම රැුකියාවන්හි නියුතු සාමාන්‍ය මුස්ලිම්වරු සරම සහ බැනියම හැඳීමට පුරුදු වී සිටියහ. ව්‍යාපාරික පන්තීන් නියෝජනය කළ ධනවත් මුස්ලිම්වරු තද වර්ණ කොටු රටාවන් රැුඳි සරමත් උඩුකයට සුදු පැහැති බැනියමත් හැඳ කුඩා පසුම්බියක් රුඳි පළල් ඉණ පටියක් පළඳා ඒ මතින් තද පැහැති ඝණ රෙද්දෙන් නිම වූ උඩු කබායක් අඳිති. එකල සිටම අරාබි මුස්ලිම්වරු කාටත් පොදු හිස් වැස්මක් පැළඳුවේය. ඉස්ලාමීය පළඳනාවක් වූ මෙම හිස් වැසුම් මූලිකව වර්ග තුනකි. පැතලි සුදු පැහැති හිස් වැසුම, තුර්කි තොප්පිය හෙවත් රතු පැහැති තරමක් උසින් යුතු නමුත් පැතලි මුදුනත ලිහිල් නූලින් සෑදි පහළට වැටෙනා මල් කරලක් සහිත හිස් වැසුම සහ දිදාලයක් වන් උසින් යුත් හිස් වැසුම. අරාබි වංශික මූර් මුස්ලිම්වරු පැළඳියේද දිදාලයක් වන් උසැති හිස් වැසුමයි. මුදල් හදල් අතේ ඇති මුස්ලිම්වරු මෙම හිස් පළඳනා සළුපිළිවලින්ද පටි මෝස්තරවලින්ද අලංකාර කොට පැළඳුහ.


No comments:
Post a Comment